Sunday, October 19, 2014

මුන්ගේ කාමුක ආශාවල් නිසා ඇසිඩ් පාරෙන් කෙල්ල පිච්චුණා

asid+atack+girls+at+srilanka
කොළඹ සිට බටහිර වෙරළ තීරය ඔස්‌සේ වයඹ දෙසට යන විට සැතැපුම් විසිපහක පමණ දුරකදී හමුවන්නේ සුන්දර මීගමුව නගරයයි.

සැබවින්ම මීගමුව පාරිසරික පිහිටීම අතින් නම් පිටතින් බලන සෑම අයෙකුටම මීගමුව මෙන්ම එහි වෙරළ ද සුන්දර දසුන් මවයි. මේ කියන්නට යන කතාවේ පැති දෙකක්‌ නැත. එහෙත් මීගමුවේ ඇති එකී සොඳුරු බවට අද දවසේ කුමක්‌

සිදුවෙමින් තිබෙන්නේද....? බලය හමුවේ අං මතුවී තප්පුලන දේශපාලන චරිතයක්‌ නිසා මේ වන විට එහි සුන්දර බව ඇත්තේ මොහොතක්‌ පාසා මරණ මංචකය වෙත ඇදී යමිනි.



මීගමු වැසියෝ කම්පනයට පත්ව සුසුම් හෙලන්නාහ. එහෙත් සිදුවෙමින් තිනේනේ අං මතු වූ දේශපාලනය සමග වන බත් බැලයන් ඒ සුසුම් මත පිනුම් ගැසීමය. කාලයයෙන් කාලයට මේ රටේ තැන් තැන්වල දේශපාලන චරිත ඉස්‌මතු වෙති. නමුත් ඒ ඉස්‌මතුවීම ඇත්තේ ජනතා යහපත උදෙසා නොවෙති. අද දේශපාලනය යන්න ජනතාව අරබයා ගතහොත් මර උගුලක්‌ව තිබේ. නමුත් දේශපාලනඥයාට එය සූදුවකි. මැරකම, ජඩකම සමග වන ඕනෑම අවලංකමක්‌ කර සූදුවෙන් දිනන්නට වර්තමානයේ බොහෝ දේශපාලනඥයන් ක්‍රියා කිරීම තුළින් පෙනී යන්නේ එකී යථාර්ථයම වේ. ලොකු එකාට කඩේ ගිය පොඩි එකා පසු කලෙක දේශපාලනඥයකු වන්නේය.

ඌ එතැන් සිට මොන අමනකම් තුළින් හෝ තමන්ගේ ගමන යන්නේය. ඊට ඕනෑ තරම් උදාහරණ වත්මන් රජයේ පමණක්‌ නොව මෑත අතීතයේ රට පාලනය කළා වූ සෑම රජයකින්ම පාහේ සොයාගත හැකිය. ඉතින් දේශපාලනයට පැමිණෙන බොහෝ වුන්ට රට, ජාතිය, ගම, පන්සල, පල්ලිය යන කිසිවකින් වැඩක්‌ නැත.

ඌට ඕනෑ වන්නේ මමත්, පරපුරත්, මගේ උන් ටික සහ සල්ලිත්, බලයත් තව තවත් දියුණු කරගන්නට ය. අද දවසේ සුන්දර මීගමුවේ සුන්දරත්වය මරණ මංචකය වෙත ඇදී යමින් තිබෙන්නේ එකී ජනතාවාදී නොවූ නරුම භාවිතාවේ ප්‍රතිඵලයක්‌ ලෙසින් යෑයි කිවහොත් එය සර්ව සම්පූර්ණ ලෙසම නිවැරදි වන්නකි.



අදවන විට බොහෝ දෙනෙක් පවසන්නේ, මේ රටේ ආඩම්බරකාර තාත්තා වන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ය. ජනාධිපති මහින්දට එසේ කියන්නට තර්කයක්‌ නොමැති අයිතියක්‌ ද ඇත. මන්ද තිස්‌ වසරක යුද බියෙන් මේ රටත්, දරුවනුත්, ජනතාවත් බේරා ගත්තේ ඔහු නිසා ය. එහෙත් ජනාධිපති වචනයේ අර්ථයට සාධාරණයක්‌ දෙමින් මෙසේ රටේ ජනතාවගේ පීතෘත්වය ලබද් දී ආණ්‌ඩුවේ දේශපාලනය තුළින්ම මතු වන ඇතැම් ගෝත්‍රික චරිත ජනතාවට වින කරන අතරේ සමාජය ඉදිරියේ ගෝඩ් ෆාදර්ලා සේ රඟන්නට සැරසේ නම් අපි කුමක්‌ කරමුද.....? "ගෝඩ් ෆාදර්" යන්නෙහි සෑබෑ අරුත කෙසේ වුවද වත්මන් සමාජ වහරේ දී එසේ කියනුයේ නරුමයන් හැඳින්වීමට ය. "ගෝඩ් ෆාදර්" යනු නරුමයෙකි, කාලකන්නියෙකි, ම්ලේච්ඡයෙකි. සමාජ වහරට අනුව ඉන් එහා වන අර්ථයක්‌ එකී වචනයට නොවේ. එයට පැහැදිලි උදාහරණයක්‌ කලකට ඉහත මෙරට පාතාල ලෝකය තුළ තිබිණි.



මීට වසර ගණනාවකට පෙර කොළඹ පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනකු සිටියේ ය. හේ අන් කිසිවකුත් නොව 'නාවල නිහාල්' ය. මෙකී නාවල නිහාල් යනු පාතාල මිනී මරුවෙකි. ස්‌ත්‍රී දූෂකයෙකි. එසේම ප්‍රකට කොල්ලකරුවකු මෙන්ම ඔහු රට වනසන කුඩු ජාවාරම්කරුවකු ද විය.

එහෙත් කාලයත් සමග මේ ගෝඩ් ෆාදර් හෙවත් නාවල නිහාල් බජාර් බාසාවෙන්ම කියතොත් ඇඩ්ඩ්‍රස්‌ නොමැති චරිතයක්‌ බවට පත්ව චුත වී ගියේ ය. නාවල නිහාල් සිටියේ ය. පාතාලයේ වැජඹුණේය. රජ කළේය. හිටි හැටියේ හේ අතුරුදන් විය. ඔහු ඇඩ්ඩ්‍රස්‌ නැති චරිතයක්‌ වූයේ එසේ ය.

මෙකී නාවල නිහාල්ගෙන් පසු කලක්‌ යනතුරුම පාතාලයේ පමණක්‌ නොව කොතැනකදීවත් අපට යළි "ගෝඩ් ෆාදර්" කෙනෙකු පිළිබඳ අසන්නට නොලැබිණි. එහෙත් දැන් මීගමුවේ "ගෝඩ් ෆාදර්" කෙනකු ඇත. නමුත් ගැටලුව වන්නේ නාවල නිහාල්ගෙන් එහාට ගිය විශේෂත්වයක්‌ මොහු සතු වීමය. ඒ ඔහු නාවල නිහාල්ගේ පාතාල කෙරුවාව අනුගමනය කරන අතරේ දේශපාලන බලය ද සමග ගෝඩ් ෆාදර් කෙනකු ලෙස මතුවී සිටීම ය.

මෙහිදීත් බරපතළම කරුණ වී තිබෙන්නේ හෙතෙම ආණ්‌ඩුවේ දේශපාලනය මතින්ම පැමිණ මෙලෙස මීගමුවේ "ගෝඩ් ෆාදර්" වී සිටීමය. ඉකුත් සතියේ මෙකී ගෝඩ් ෆාදර්ගේ බත් බැලයන් හෙවත් දේශපාලන චණ්‌ඩි රැලක්‌ සීදුව ප්‍රදේශයේ දී විදේශික යුවළක්‌ පදිංචිව සිටි නිවසකට කඩා වැදී එම යුවළට පහර දී නැටූ ඩෙඟා රැඟුමක්‌ පිළිබඳ අපි සටහනක්‌ තැබුවේමු.

ඒද නිකම්ම නොව, එකී බත් බැලයන් විදේශික යුවළක්‌ සිටි නිවසකට වැදී ඩෙඟා නටද්දී ගෝඩ් ෆාදර්ගේ දේශපාලන හයිය හමුවේ පොලිසියට නටන්නට සිදුවූ "ජංගි" ජවනිකාව පිළිබඳව ද රටට අනාවරණය කරමිනි. සැබවින්ම මෙහිදී පොලිසිය අසරණ වූවා විය යුතුය. එහෙයින් ඔවුන් "ජංගි" ජවනිකාව රැඟුවා විය හැකිය.

විදේශික යුවළගේ කතාවේදී පමණක්‌ නොව මෙකී ගෝඩ් ෆාදර්ගේ සෑම කෙරුවාවක්‌ ඉදිරියේම අද මීගමුව අධිකාරි කොට්‌ඨාසයේ පොලිස්‌ නිලධාරින්ට සිදුව තිබෙන්නේ නපුංශක ලීලාවෙන් බලා සිටීමටය. ඔවුන්ට කරන්නට දෙයක්‌ නැත. මේ නොහැකියාව හමුවේ ඇති වන නවනිංගිදාව මකා ගන්නට නම් පොලිසියට කරන්නට ඉතිරිව ඇත්තේ අර එකමත් එක වෙලාවකට පොලිසියට හසුවන ඇතැම් අපරාධකාරයන් කරනවාක්‌ මෙන් පොලිසියේම ඇති මාංචු කුට්‌ටම් දැතට දමාගෙන ගොස්‌ ගඟක මූදක පැනීමය.

ගඟක්‌ මූදක්‌ වෙත යන්නට දුර වැඩි නම් මීගමුව කලපුවද ඊට සුදුසුය. ගෝඩ් ෆාදර්ගේ දේශපාලන බැලයන් විදේශික යුවළට කළ පහරදීම පිළිබඳ අප හෙළිදරව් කිරීමත් සමග ඒ සම්බන්ධව ඉකුත් සතියේ විශේෂ පොලිස්‌ පරීක්‍ෂණයක්‌ද ආරම්භ වී තිබිණි. ඒ අනුව මීගමුවේ එක්‌තරා අහිංසක පොලිස්‌ නිලධාරියෙක්‌ පසුගිය දිනක මේ ලියුම්කරු ඇමතීය. එකී ඇමතුම අතරේ ඔහු ඉතාම රහසේ යමක්‌ විමසන්නටද විය.
"මහත්තයෝ ෆොරිනර් කියන්නේ ගෝඩ් ෆාදර්ගේ මිනිස්‌සු වැඩේ කළා කියලද....?"

ඒ වචන කිහිපය තුළ වූයේ කෙඳිරිල්ලකි. හඬ තුළින් මතුව ආවේ එම නිලධාරියාගේ අසරණකම සහ හදවත බර වූ ගෝඩ් ෆාදර්ට ඇති භීතිය ය. ඉතින් කුමක්‌ කියන්නද? මගේ පිළිතුර වූයේ නැත යන්නය. අසරණයා සැනසිය යුතුය. එහෙත් මේ තුළින් එළියට ආවේ එම සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කෙරුණු විශේෂ පොලිස්‌ පරීක්‍ෂණයේ තරමය. ඉතින් පොලිසිය පිළිබඳ තව කුමන කතාද?

නමුත් පොලිසියේ කෙරුවාව එසේ වුවද ස්‌විස්‌ ජාතික යුවළක්‌ වූ එකී විදේශිකයන්ගේ කතාව අප රටට හෙළි කිරීමෙන් පසු සිදුවූ වෙනත් සුවිශේෂී දෙයක්‌ද විය. ඒ ගෝඩ් ෆාදර්ට බියේ මොකා නඟුට දෙපරංශයේ ගසාගෙන සිටියද මීගමුවේ ජනතාව දිගින් දිගටම අප අමතන්නට වීමය. කිසිදු ඉස්‌පාසුවක්‌ නැත. ගෝඩ් ෆාදර්ගේ සියලු කතා ලුණු ඇඹුල් ඇතිවම ඔවුහු කියන්නට වූහ.


"මහත්තයෝ... අද මීගමුවේ පෙන්නන්නේ "මහල්ලයි තැනක්‌ වෙලා. හැම දෙයක්‌ම වෙන්නේ එක එකාගේ නම්වලින්. හැබැයි නියම අයිතිකාරය නළුවෝ තුන් දෙනාගෙන් එකෙක්....."

එසේ අප අමතන්නට වූ මීගමුවේ ජනතාව අතරින් මුලින්ම මතුවූ අයකු අද මීගමුවට සිදුවෙමින් තිබෙන විනාශය වචන කරන්නට වූයේ එලෙසිනි. හේ තමන්ගේ අනන්‍යතාව අපට කීය. නමුත් එය හෙළි කළහොත් මේ මිනිසාගේ පණ සුන් සිරුර හෙට මීගමුව කලපුවේ තිබෙන්නට ඉඩ ඇති නිසා අපි එසේ නොකරන්නෙමු.
මේ අතරේ කතා කළ තවත් පුද්ගලයකු ගෝඩ් ෆාදර්ගේ කෙරුවාවට අදාළ ඉතිහාසයක්‌ ද සමගින් වන එක්‌තරා ශෝචනීය වූ කතාවක්‌ කියන්නට වූයේ මෙසේය.

"සර්, ඒක 2007 අවුරුද්ද.... මීගමුවේ හිටියා රූප සුන්දරී තරගයකින් දිනපු ලස්‌සන ගෑණු දරුවෙක්‌. එතකොට ගෝඩ් ෆාදර් හිටියේ දැන් ඉන්න තැන නෙමේ. වෙන තැනක. හැබැයි එදත් බලය තිබුණා. ඉතින් ගෝඩ්ගේ කාලකන්නියෙක්‌ මේ දැරිවිට බැල්ම දැම්මා. එත් කෙල්ල කැමති වුණේ නැහැ..... අන්තිමට වුණේ කෙල්ලට ඇසිඩ් පාරක්‌ වැදිච්ච එක. මේක ප්‍රසිද්ධි කතාවක්‌. ඒත් ඒක කතාවක්‌ම විතරයි. ඇසිඩ් පාරෙන් කෙල්ල පිච්චුණා. සිද්ධිය ඉවරයි.

ඒක විතරක්‌ නෙමේ.... පහුගිය කාලේ සීදුව පැත්තේ කෙල්ලෙකුටත් ඔය වගේම සිද්ධියක්‌ වුණා. මුන්ගේ ආශාවල් කර ගන්න අකමැති වෙච්ච නිසා ඒ දරුවගෙත් ඇඟිලි දෙකක්‌ කපලා දාලා තිබුණා. ඒ දරුවට ඇඟිලි දෙක නැති වුණා. ඒ කතාවත් එතනින්ඉවර වුණා.

අද මීගමුවට වෙලා තියෙන්නේ එසේ මෙසේ විනාශයක්‌ නෙමේ. මීගමුව කියන්නේ ලංකාවේ තියෙන ප්‍රධාන ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආසන්නම සංචාරක නගරය. ඒත් මීගමුව තවමත් අපායක්‌. රටට ආවේනික කඩොලාන ශාඛ ගණනාවක්‌ තියෙන කලපුව ගන්න දෙයක්‌ නැති තැනට ජරා වෙලා. අනවසර ඉදිකිරීම් හැම තැනම. ඔක්‌කොම පිටි පස්‌සේ ඉන්නේ ගෝඩ් ෆාදර්. එහෙමත් නැතිනම්, මහල්ලයි, කොල්ලෝ දෙන්නයි"


ෆිල්ම් එකේ නළුවෝ තුන් දෙනා.

"මේ එක නළුවෙක්‌ අද මීගමුවේ නගරයේ හැම තැනකදීම ප්‍රසිද්ධියේ කප්පම් ගන්නවා. ඒත් ඒකට විරුද්ධ වෙන්නවත්, ඌව නවත්තන්න කිසිම කෙනෙක්‌ නැහැ. හැමදාම හැන්දැවට මීගමුව බීච් පාක්‌ එක ඇතුළේ මේ කප්පම්කාරය ඉන්නේ තමන්ගේ ගෝලයෝ ටිකකුත් එක්‌ක පිස්‌තෝලේ අතේ තියාගෙන. අද ලෙල්ලමට එන හැම වාහනයකින්ම කප්පම් ගන්නෙත් ඒ කෙරුමා. ඒ දිහා බලන්නවත් කවුරුත් නැහැ...."

මේ අයුරින්ම අද මීගමුව පිළිබඳ කතා කිරීමේදී විශේෂයෙන්ම අනාවරණය වෙමින් තිබෙන ප්‍රබල කරුණක්‌ද ඇත. ඒ මීගමුව කේන්ද්‍ර වෙමින් ව්‍යාප්ත වී තිබෙන මත් කුඩු සහ කේරල ගංජා ජාවරමය. ඒ පිටුපසද ගෝඩ් ෆාදර් සිටින බව මීගමුවේ ජනතාව එක හෙලා කියා සිටින්නේ ය. මීගමුවේ සුලබ ධීවර යාත්‍රා මගින් ස්‌ථාන කිහිපයකට ළඟා වන මත් කුඩු සහ කේරළ ගංජා තොග එකී යාත්‍රාවල සිටි රාත්‍රි කාලයේ කෙලින්ම පැටවෙන්නේ ලියාපදිංචියක්‌ පවා නැති සුඛෝපභෝගී රථවලට බවද ඔවුහු කියන්නාහ.

"ඔව් මහත්තයෝ. අද මේ ජාවාරම කෙරෙන තැන් තුනක්‌ මීගමුව වෙරළ තීරයේ තියෙනවා. කිලෝ ගණනින් මත් කුඩු තොග ඒ තැන්වලින් රටට ගේනවා. ඒත් අල්ලන්න කිසිම කෙනෙක්‌ නැහැ. ගෝඩ් ෆාදර්ලා සරුවට ජාවාරම කරගෙන යනවා. මීගමුවේ තියෙන අනිත් ජරාම වැඩේ තමයි මහත්තයෝ ගෝඩ් ෆාදර්ගේ මිනිස්‌සු ප්‍රසිද්ධියේම මෙහෙ ඉන්න දෙමළ කාන්තාවන් කොල්ල කන එක.

ගෑනියෙක්‌ට මාලයක්‌ කරේ දාගෙන හොඳට ඇඳලා පාරේ යන්න බැහැ. පාළු තැනකදී අහු වුණොත් ත්‍රීවීල්වලට බලෙන් දාගෙන ගිහින් මංකොල්ල කනවා. ඒ වගේම තමයි මහත්තයෝ අද මීගමුවේ ඉන්න ගොඩක්‌ අය අති විශේෂ ප්‍රභූ පන්තියේ අය වෙලා. කබල් කාර්වලත් වීවීඅයිපී කියලා ඉස්‌ටිකර් අලවලා. ඒ ස්‌ටිකර් එකෙන් ඇඟවෙන්නේ ගෝඩ් ෆාදර්ගේ මිනිස්‌සු කියන එක. ඉතින් ඒ වාහනයක්‌ දැක්‌කත් පොලිසිය පුරුදු වෙලා ඉන්නේ අහක බලා ගෙන ඉන්න....."

මීගමුවේ සිදු වන කුඩු ජාවාරම ඇතුළු තවත් කෙරුම් කිහිපයක්‌ පිළිබඳ එසේ කතා කරන්නට වූයේද ඉහත කී පරිදි අප ඇමතූ මීගමු වැසියෙකි. එසේම බලත්කාරයෙන් ඉඩම් කොල්ලකෑම ඇතුළු තවත් අසික්‌කිත වැඩ රැසක්‌ පිළිබඳවද ඔහු අපට හෙළි කළේ ගෝඩ් ෆාදර්ට දෙස්‌ දෙවොල්ද තබමිනි. එකී දෙස්‌ තැබීම නම් ගෝඩ් ෆාදර්ට පමණක්‌ සීමා නොවීය. එය වත්මන් රජයේ බොහෝ තැන් වෙත විහිද ගිය බවද මෙහිදී කිව යුතුය.

මෙසේ සිදු වන මත් කුඩු සහ කේරල ගංජා ජාවාරම සමඟ මේ වන විට ගෝඩ් ෆාදර්ගේ සමීපයේම සිටින එකකු දෙන්නකු ඔහු සේම ගෙවී ගිය දෙවසරක පමණ කාලය තුළ සුපිරි කෝටිපතියන් වී සිටින බවද තවත් අතකින් අනාවරණය වන්නකි. හැමර් සහ ලැම්බෝගිනි වැනි සුපිරි මෝටර් රථ කිහිපයක හිමිකරුවක වන ඉන් එක්‌ කෝටිපතියකු අද දවසේ සිය ගමන් බිමන් සඳහා හෙළිකොප්ටර් යානාවක්‌ද ඇනවුම් කර තිබෙන බව ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී අපට හෙළි විය.

මෙකී කෝටිපතියන් අතර කලකට ඉහත මීගමුවේ බාර් එකක කවුන්ටරයේ සිට මත් පැන් බෙදූවකු (බාර්මන්) සහ බොරළු කපන්නකුද සිටින්නේ විශ්මය ජනක ලෙසිනි. එහෙත් ගැටලුව ඇත්තේ මේ රටේ අල්ලස්‌ කොමිසම, අදායම් බදු දෙපාර්තමේන්තුව ආදී ලෙසින් මොන ආයතන තිබුණද මීගමුවේ ගෝඩ් ෆාදර්ගේ සහ ගෝලබාලයන්ගේ වත්කම් සහ ඉපයීම් පිළිබඳ සොයන්නට කිසිවකුත් නොවීමය.

මිගමුව වැනසෙන්නේය. පැහැදිලි ලෙසම අද සිදු වෙමින් තිබෙන්නේ පාදඩ දේශපාලන භාවිතාවක්‌ හමුවේ ජන ජීවිත උඩු යටිකුරු කරමින් සුන්දර මීගමුව අසුන්දර වීමය. පඳුරකට පයින් ගැසුවද විසි වන තරමට ගණිකා මඩම්, මසාඡ් ක්‌ලිනික්‌ ආදී ලෙසින් වූ නොයෙක්‌ අවර දේවලින් මීගමුව පිරී ගොසිනි.

කප්පම්කාරයෝ. පාතාලයෝ. වීවීඅයිපී ලේබල සමග නිදැල්ලේ සරන්නේය. ජනතාව සිටින්නේ භීෂණයකට මැදිවය. එහෙත් පිහිටට කිසිවකුත් නැත. සියල්ල ගෝඩ් ෆාදර්ගේය. නමදු මෙකී සියල්ල අවසන් වී අද දවසේ කොළඹ සිදුවන නාගරික සංවර්ධනයේ ආශ්චර්යමත් වූ අසිරියෙන්a මීගමුව බැබලෙන්නේ කවදාදැයි සිතමින් එහි ජනතාව බලාපොරොත්තු සහගතව දැනුදු ජීවිත ගෙවන්නේය.

ආර්ථික සංවර්ධනය කරා රට යන ගමනේදී මීගමුව යනු නාගරික සංවර්ධනයේ ආශ්චර්යය ළඟා විය යුතුම නගරයකි. නමුත් මීගමුව අරබයා කතා කිරිමේදී ආර්ථික සංවර්ධනයේ ගමන ඇත්තේ රෙද්ද පල්ලේය. ගෝඩ් ෆාදර් රජ වී සිටින්නේය. එහෙත් මීගමුවේ ජනතාව තුළ තවමත් සියල්ල නිසි ලෙස සිදු වෙතැයි බලාපොරොත්තුවක්‌ ඇත. නමුත් කිසිවක්‌ සිදු නොන්නේය.

මීගමුවේ ජනතා බලාපොරොත්තු එසේ වෙද්දී මේ මොහොතේ ආණ්‌ඩුව සිටිනුයේ අනාගත මැතිවරණයක අභිමුවට පැමිණ බව කාටත් රහසක්‌ නොවන්නකි. එහෙත් මෙහිදී ආණ්‌ඩුවට කියන්නට අපට දෙයක්‌ ඇත. ඒ ගෙවෙන මොහොතක්‌ පාසා මීගමුවේ ගෝඩ් ෆාදර් ඇතුළු ක්‌ල්ලිය නිසා ගැලවෙමින් තිබෙන්නේ ආණ්‌ඩුවේ රෙදි බවය.

එසේම අවසන් වශයෙන් කිව යුතු දෙයක්‌ද ඇත. ඒ මීගමුවේ විනාශය පිළිබඳ ඉදිරියේදී එකින් එක පෙළින් පෙළට ගෙන රට හමුවේ තබන්නට අප සුදානම් බවය. ඒ ටික කියන්නේ "ගෝඩ් ෆාදර්ගේද අවබෝධය පිණිසය.

-Saman Gamage-
Lankaegossip

No comments:

Post a Comment