Thursday, October 30, 2014

මගේ චරිතේ ගැන නොදන්න දේ ගොඩයි (ඔටාරා)



otara+gunawardhana+selfie

පසුගිය දින කිහිපය පුරාවටම නිරන්තරයෙන් කතාබහට ලක්වුණු චරියක් වන "ඔටාරා ගුණවර්ධන" ගැන ඇගේ ව්‍යාපාරයන් පිළිබදව මදක් ඔබ්බට ගොස් ඇගේ පුද්ගලික ජීවිතය ගැන තොරතුරු රැසක් පිළිබඳව සටහනක් ගෙන එන්නට අදහස් කළා. බෞද්ධ ආගමික තැනැත්තියක වන ඔටාරා විලාසිතාවට සහ කලාත්මක බවට ඇය තුළ වූ සැබෑ කැමැත්ත ඇය මුණගැසෙන්නට යන එන කාටත් ඇය වෙසෙන වටපිටාව දුටු සැණින්  මනාව පිළිබිඹු වුණා. මෑතක් වන තුරුම ඔඩෙල් සමාගමේ හිමිකාරීත්වය දැරූ ඇය තම සමාගමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට පැවරුවා.

නමුත් තවමත් ඇය එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් තවමත් සේවය කරනවා. සන්නාමකරණය සහ අලෙවිකරණය සේම නවීන විලාසිතා පිළිබඳ මනා දැනුමක් සහිත ඇයව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට ගොසින් යහපත් සමාජයීය වෙනසක් කරන්න ඇප කැපවන බව ඇය වත්මනේදී ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් මනාව ඔප්පු වෙනවා. ඒ වගේම ඔටාරා නිතරම පාටත් එක්ක වැඩ කරන කෙනෙක්. මේ දවස්වල නම් ඇගේ ජීවිතය පාට කරන්නේ රෝස වර්ණයෙන්ලු....

"ජීවිතයේ පාට කාලෙන් කාලෙට වෙනස් වෙනවා.මේ දිනවල ජීවිතය වර්ණ ගැන්වෙන්නේ රෝස පාටින්.... ඒ පාට කරුණාව සහ ආදරය සමඟ සම්බන්ධ නිසා වෙන්න ඇති.

පුංචි කාලේ නම් මම උත්සාහ කළේ  විසේකාරියක් වෙන්න. ඒ දේ කරන්න මට ඕන වුණා. ඒ වගේම මට මතක කාලේ ඉඳන්ම මම ආසයි පරිසරයට සහ සත්ත්වයන්ට ආදරය කරන්න. ඒක නිසා තමයි මම ජීවවිද්‍යා අංශයෙන් උපාධියක් කළේ.....
 

ශ්‍රී 1990දී සේවකයන් දෙන්නෙක් යොදාගෙන හදන්න පටන් ගත්ත ඔඩෙල් කියන ව්‍යාපාරික දරුවා කල වයස ආවාට පස්සේ 2014දී සොෆ්ට්ලොජික් සමාගමට බන්දල දුන්නා. වෙලාව ආවම අපිට සමහර දේවල් අත්හරින්න සිද්ධ වෙනවා. ඇත්තටම ඒක ලෙහෙසි තීරණයක් නෙවෙයි. මම වසරක පමණ කාලයක් හිමින් මේ තීරණය ගැන ගොඩක් කල්පනා කළා. මගේ අනාගත සතුට වෙනුවෙන් තමයි මේ තීරණය කැමැත්තෙන්ම ගත්තේ.

ඒක පිස්සු තීරණයක් කියලා කවුරුත් කිව්වේ නැහැ. මගෙත් එක්ක සමීපව ඉන්න සහ වැඩ කරන අය දන්නවා මම ගොඩක් හිතල බලලා තීරණ හරියට ගන්නවා කියලා. ඒක නිසා කවුරුත් මගේ තීරණය වෙනස් කරන්න උත්සාහ කළේ නැහැ..... මේක මම ගොඩක් විශ්ලේෂණය කරලා ගත්ත තීරණයක්.

දිගටම ව්‍යාපාර කරද්දි කොයිතරම් කළත් තවත් වැඩි වැඩියෙන් මුදල් හොයන්න ඕන. ව්‍යාපාරය දියුණු කරන්න ඕන කියන පීඩනය මට විතරක් නෙවෙයි ඕන කෙනෙක්ට තියෙනවා. එහෙම නැතිව ව්‍යාපාර කරන්න බෑ. නමුත් ජීවිතයේ සැබෑ අර්ථය මුදල්වලින් ඔබ්බට ගිය එකක්. ඒ නිසා ව්‍යාපාර කටයුතුවලින් එහාට ගිහින් ජීවිතය අර්ථවත් කරන්න කටයුතු කරන්න ඕන.

බල්ලන්ගෙන් මිනිසුන්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ අය තුළ කුහකකම සහ ඊර්ෂ්‍යාව නැතිකම හොඳ පාඩමක්. ගොඩක් සමීක්‍ෂණවලින් පවා හෙළිවෙලා තියෙනවා බල්ලන් ඇති කිරීමෙන් සතුට සහ ජීවන රටාව වැඩි දියුණු වෙනවා කියලා. නමුත් සුරතල් සතුන් කූඩුවල දාන්නේ නැතුව පවුලේ කෙනෙක් වගේ ඔවුන්ට සලකන්න ඕන.

බලය, ආදරය සහ නිදහස කියන තුනම මට ඕන..... ආදරය කොහොමත් ජීවිතයට අවශ්‍ය දෙයක්. මම කියන්නේ සෑම සත්ත්වයෙක්ටම මනුෂ්‍යයෙක්ටම දක්වන ආදරය සහ කරුණාව ගැන. ඒ වගේම තරුණ කාලයේදී මා තුළ බලයට කැමැත්තක් තිබුණේ නැත්නම් අභියෝග හමුවේ මම අසරණ වෙන්න ඉඩ තිබුණා. ඒක නිසා බලය අවශ්‍යම වුණා. මට මතකයි එක වරක් ඩික්මන් පාරේ තිබුණ මගේ ඔඩෙල් සාප්පුව ගිනිගෙන විනාශ වුණා. ඒ වගේ වෙලාවක දුක්වෙලා හැමදේම අත්හරින්න ලෙහෙසියෙන් පුළුවන්. නමුත් බාධක හමුවේ නොසැලී ඉදිරියට යන්න තමන් තුළ බලයක් අවශ්‍යයි.
 

ඇත්තටම මගේ මවුපියන් ඒ අයට කැමැති දේ නෙවෙයි, මට කැමැති දේ කරන්න මට අවස්ථාව සහ නිදහස දුන්නා. ඒක ගොඩක් වටිනවා...

සේවකයින් දිරිගන්වන්න පඩිය ඉතා වැදගත් කියලා මම දන්නවා. නමුත් රැකියාව කැමැත්තෙන් සහ අභිමානයෙන් කරගෙන යන්න අවස්ථාව ඔවුන්ට ලබාදෙන්න ඕන. ඒ වගේම වැඩ කරන්න හිතෙන ආයතනික පරිසරයක් ගොඩනඟන්න ඕන.

එක එක්කෙනා කියන කතා මම අහන්නේ නෑ..... එහෙම කේලාම් අහන්න කාලය වෙන් කරන්න ගියොත් ව්‍යාපාර කරන්න වෙන්නේ නෑ..... ඒ අයට හිතෙන විදියට ඔඩෙල් එක දියුණු කරන්න අවශ්‍ය යෝජනා දෙන්න ඔඩෙල් එකේ වැඩ කරන අයට නිදහස තියෙනවා. ඒ වගේ ආයතනික සංස්කෘතියක් තියෙන නිසා අපේ සමාගමේ මෑතකාලීනව අභ්‍යන්තර දේශපාලන ගැටලු ඉතාම අඩුයි.

මම සහ ඔඩෙල් ව්‍යාපාරය අතර සමීප බැඳීමක් තිබුණත්, ඔඩෙල් කියන නාමය දැන් මනාව ස්ථාවර වෙලා තියෙන්නේ. මම සහ ඔඩෙල් කියන්නේ දෙන්නෙක්.

කාන්තාවන්ට එකවර ගොඩක් වැඩ කරන්න පුළුවන්. ඒක ඔවුන්ගේ ශක්තියක්.... ඔවුන් බොහෝ විට තමන් පිළිබඳ අවතක්සේරුවක ඉන්නවා. එහෙම හිතන එක කාන්තාවන්ගේ දුර්වලතාවක්.

ඕනෑම කෙනෙක් හරි අවස්ථාවේදී හමුවීම වැදගත්. ඒ වගේම ගමන් මඟේදී අපිට හමුවෙන සහ ළංවෙන අයගෙන් පුද්ගලයන් කවුද කියලා වටහාගන්න පුළුවන් වෙන්නත් ඕන.

හරි පුද්ගලයන් හරි අවස්ථාවේ තමන්ට සමීප වෙන බව කලින් දැනගෙන ඔවුන් සමඟ එකතුවෙලා වැඩ කරන්න ඕන. එහෙම නැත්නම් ඔවුන් ජීවිතයෙන් මඟහැරෙන්න පුළුවන්....

කාලෙන් කාලෙට එක එක පොත් කියවනවා. විශේෂයෙන් චරිත කතා, ධනාත්මක චින්තන පොත් සහ විලාසිතා සම්බන්ධ දේවල් කියවනවා. ඉස්සර නම් රිචර්ඩ් බ්‍රැන්සන්, වොරන් බෆට් ගැන ලියැවුණ පොත් එහෙම කියෙව්වා.

ඇත්තටම මම වාසනාව විශ්වාස කරන්නේ නෑ...... ඉතා වැදගත් වෙන්නේ ධනාත්මකව සිතීම සහ ඒ අනුව වැඩ කිරීම. මම මේ තත්ත්වයට එද්දි ගොඩක් හිනා වුණා වගේම ගොඩක් රහසින් අඬපු අවස්ථා තියෙනවා.. දුකක් දැනුණු අවස්ථාවල අද නරකක් වුණත්, හෙට හොඳක් වෙයි කියලා මම හිතුවා. මට මේ අත්දැකීම් ලැබුණේ අනාගතයේ හොඳට කියලා හිතලා හිත ධෛර්යවත් කර ගත්තා.


කාලෙන් කාලෙට ජිවිතේට ළං වුණු බාධක හමුවේ මාව ධෛර්යවන්ත කළේ මමමයි. මම බෞද්ධ ආගමිකයෙක් වුණත් දෙවියෝ විශ්වාස කරනවා. දෙවියෝ කියන්නේ මෙහෙමයි, මට හිතෙනවා විශ්වයේ අපිට පෙනෙන්නේ නැති මොනවා හරි ලොකු බලයක් තියෙනවා කියලා. මම ඒ බලය විශ්වාස කරනවා. 

තවම මං ගැන මිනිස්සු හඳුනාගෙන නැති ගති ලක්‍ෂණ මගේ ළග තියෙනවා. ව්‍යාපාර කරනවාට වඩා ආදරය සහ කරුණාව ලබාදෙන්න මම ගොඩක් කැමැතියි.

ආයතනයේ වැඩ කරද්දි සමහර අවස්ථාවල මම ටිකක් සැර වෙනවා තමයි. නමුත් සැරවීම ප්‍රමාණයකට තියෙන්න ඕන. සේවකයන්ට නරක වචන කියලා.... ඔවුන්ගේ ආත්මාභිමානය නැති වෙන විදියට කෑ ගහලා බනින්න හොඳ නෑ..... ඒක තේරුමක් නෑ..... නමුත් සේවක සේවිකාවන්ගේ වැරැදි අඩුපාඩුකම් පෙන්වන්න ඕන..... මට තරහා යන එක ගොඩක් අඩුයි. නමුත් තරහා යන්නේ නෑ කියන්නත් බෑ......

මම පාසල් කාලේ ගොඩක් ක්‍රීඩා කළා. පිහිනුම්, උස පැනීම, දිවීම වගේ ගොඩක් ක්‍රීඩා කළා. එම ක්‍රීඩා කළ නිසා මම නිතරම පළමුවැනියා වෙන්න උත්සාහ කළා. ක්‍රීඩා කරද්දි කවුරුත් නිතරම උත්සාහ කරන්නේ පළමුවැනියා වෙන්න. පළමුවැනියා වෙන්න ඕන කියන හැඟීම සහ ධෛර්යය ආවේ ක්‍රීඩාවට සම්බන්ධ වීම නිසා.

ඇත්තටම මට සමාජ සත්කාරක පැත්තකට යොමුවෙන්න පෙළඹවීමක් ඇතිවුණේ බි්‍රජට් බාර්ඩෝගෙන්.

ඇය ජනප්‍රිය නිළියක්. මම මාස හයකට විතර කලින් පැරීසියේ පිහිටි ඇයගේ කාර්යාලයට ගියා. ඇය අසනීපයෙන් හිටිය නිසා මුණගැසුණේ නෑ..... නමුත් ඇය සත්ත්වයන් වෙනුවෙන්, ස්වභාවධර්මය වෙනුවෙන් කරලා තියෙන වැඩ කොටස දැක්කම මටත් හිතුණා අපිට මේ ලෝකයට තව කොයිතරම් වැඩ කරන්න පුළුවන්ද? කියලා.

මම වඩාත් විශ්වාස කරන්නේ මොළයට වඩා හදවත කියන කියන දේවල්. බොහෝ වේලාවන්හිදී හදවත සහ මොළය එකම අවස්ථාවේ දේවල් දෙකක් කියනවා.... එහෙම හදවත කියන දේ කරලා ප්‍රායෝගිකව බිස්නස් කරන්න ඇත්තටම පුළුවන්. හදවත නැතුවත් ගොඩක් තීරණ ගන්න පුළුවන්. නමුත්, ඉතා වැදගත් වෙන්නේ හදවත සහ මොළය කියන දෙක අතර සමබරතාවක් තියාගන්න එක. එතකොට ජීවිතය සාර්ථක වෙනවා...."




Lanka e Gossip News


 

No comments:

Post a Comment