Thursday, October 23, 2014

කහවත්තේ තවත් කාන්තා නිරුවත් මරණයක්




kahawaththa

තවත් අනියම්
පෙම් පළහිලව්වක්
මරණයකින්
කෙළවර වෙයි!

ගෙවී ගිය කාලය පුරාවටම කාන්තා ඝාතන නිසා නම් දැරූ "රත්නපුර කහවත්ත" ප‍්‍රදේශය ඊයේ දිනයේ දී (22) යළිත් බියෙන් ඇළලී ගියේ දීපවාලී උත්සවයට ඇඳුම් ආයිත්තම් ගෙනෙන්නට ගිය කාන්තාවක නිරුවත්

කර මරා ගඟකට විසිකර දමා තිබීමේ සිද්ධියක් නිසා ය. අතුරුදන් බවට නිවැසියන් දැන්වීම නිසා පොලිසිය හා ගම්වාසීන් සොයමින් සිටිය දී ඇගේ මළ සිරුර වේ ගඟේ කටු අකුලක් තුළ සිරවී තිබිය දී ඊයේ සවස් වරුවේ දී සොයාගෙන ඇත.

මෙසේ මියගොස් ඇත්තේ කහවත්ත ඕපාතවත්ත, නොම්බර 02 කොටසේ පදිංචිව සිටි තිස් එක් හැවිරිදි වියේ පසු දෙදරු මවක වන "ජෙයරාණි තිලකරාණි" නමැති කාන්තාවකි. ඇය  ඕපාත වත්තේ වතුකම්කරු කාන්තාවක් ලෙස සේවය කළා ය. දීපවාලී උත්සවයට නිවසට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ඇය සිය බාල සහෝදරිය සමග පෙරේදා (21) දා සවස කහවත්ත නගරයට ගොස් නැවත නිවසට පැමිණ ඇත්තේ ත‍්‍රිරෝද රථයක සවස 06ට පමණයි. ත‍්‍රිරෝද රථයටද මුදල් ගෙවා ඇය නිවසට පැමිණ බලද්දී ඇගේ මුදල් පසුම්බිය නොමැතිවීම නිසා ඇය එය මග වැටී ඇත්දැයි සෙවීමට ගොස් ඇත.
ත‍්‍රිරෝද රථය නවතා ඇති ස්ථානයට නිවසේ සිට දුර අඩි 30 ක් පමණ වන අතර ඇය නිවසින් පිටව ගොස් ඊයේ එළිවන තුරු ද නොපැමිණීම නිසා ඇගේ සහෝදරිය වන කේ. සබිනා විසින් කහවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

කහවත්ත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව රත්නපුර පොලිස් නිළ සුනඛ 'ශානා' යොදවා ඊයේ පෙරවරුවේ සිට 'ජෙයරානි තිලකරාණි' සෙවූ අතර, නිවසේ සිට මීටර් 500ක් පමණ දුරින් ඇය ඇඳ සිටි සාය සහ ජංගම දුරකථනය සොයාගත්තත් ඇය පෙනෙන්නට නොලැබිණි.

එම ස්ථානයේ පාවහන් යුවලක්ද තිබූ අතර පොලිස් නිල සුනඛ ශානා එය ඉව අල්ලා ඇගේ නිවසට ගොස් අනතුරුව වේ ගඟ අද්දරට ගියේ ය. එහිදී පොලිසිය කළ සොයාබැලීමේදී ඇගේ නිරුවත් මළ සිරුර වේ ගෙඟ් කටු අකුලක සිරවී සිටියදී සොයාගැනිණි.

රත්නපුර ප‍්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් වේ ගෙඟ් ජල මට්ටමද ඉහළ ගොස් තිබුණි.  පොලිසිය තවදුරටත් සොයාබැලීමේ දී එම පාවහන් යුවල ඇගේ සැමියාගේ බව තහවුරු කර ඇත. ඇගේ සැමියා අනියම් සම්බන්ධයක් පවත්වන නිසා ඇය හා ඔහු අතර ගැටුම්කාරී තත්වයක් තිබූ බව ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මියගොස් සිටින ජෙයරානි තිලකරාණිට අවුරුද්දක් වයසැති දියණියක් සහ අවුරුදු දෙකහමාරක් වයසැති පුතකුද සිටී. කහවත්ත පොලිසිය විසින් ඊයේ සවස මෙම මරණය සම්බන්ධව සැක අය අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ. මෙම ප‍්‍රශ්න කිරීම්වලදී ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමග අනියම් සබඳතාවයක් තිබූ බවටද කරුණු අනාවරණය වී ඇත.

මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර මහරෝහලට යවා ඇත. ඇගේ හිසෙහි තුවාල කිහිපයක් දක්නට ලැබුණි. කහවත්ත පොලිසිය මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කොටකෙතන කාන්තා ඝාතන රැල්ල හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් නැතැයි පොලිසිය කියයි.

Lanka e Gossip News



No comments:

Post a Comment